අදටත් කවුරුත් නොදත් ක්‍රිකට් ලොව රජ කළ​ ක්ලයිව් ලොයිඩ්ගේ සුපිරි ක්‍රිකට් බල ඇණිය ක්‍රිකට් ලොව දෙවනත් කරපු හැටි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ හොඳම කණ්ඩායම කුමක් ද යයි ප්‍රශ්නයක් නැගුණහොත් බොහෝ දෙනාගේ මතකයට නිතැතින් ම නැගෙනුයේ 1970 දශකයේ දෙවන භාගයේ සිට 1980 දශකයේ මැද භාගය වනතුරු ක්ලයිව් ලොයිඩ් විසින් මෙහෙයවුණු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. 1974-75 තරඟවාරයේදී ඉන්දියානු සංචාරය සඳහා මුලින් ම නායකත්වයට පත් වූ ලොයිඩ් 1985 දී ක්‍රීඩාවෙන් සමු ගන්නා තුරු වැඩි කලක් කණ්ඩායම මෙහෙයවූවා.

ලොයිඩ් තමන් සහභාගී වූ ටෙස්ට් තරඟ 110 න් 74 කදී ම සිය පිළ මෙහෙයවූ අතර ඉන් තරඟ 36 ක් ජයගෙන 12 ක් පරාජය වුණා. තරඟාවලි 14 ක් ජයගෙන​, දෙකක් පරාජය වූ ඔහු තරඟාවලි දෙකක් ජය පැරදුමකින් තොරව අවසන් කළා. එමෙන් ම ලොයිඩ් කාලයත් සමඟ, පෙර වැරදිවලින් පාඩම් ඉගෙන ගනිමින් දියුණු වූ නායකයකු ලෙස හඳුන්වා දීමට පිළිවන්. ඒ බව පැහැදිලි වන්නේ ඔහු නායකත්වය දැරූ අවසන් තරඟ 57 න් 30 ක් ජයගෙන​, 4 ක් පමණක් පරාජය වීම තුළින්. එම විපර්යාසයට හේතු වූ සිද්ධි අපි පසුවට සළකා බලමු.

කුඩා කාලය ​
ක්ලයිව් ලොයිඩ් උපන්නේ දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන ගයානාවේ. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම කුඩා රාජ්‍යයන් කිහිපයක ක්‍රීඩකයන් එක් ව සෑදුණ කණ්ඩායමක් බව ඔබ දන්නවා ඇති. ගයානාව ඉන් එක් රාජ්‍යයක් වන අතර ජැමේකාව, ඇන්ටිගුවා සහ බාර්බුඩා, බාර්බඩෝස්, ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ, සාන්ත ලුසියා, ග්‍රෙනේඩා යනාදී තවත් දූපත් රාජ්‍ය ගණනාවක් ඊට අයත්. ගයානාව මේ රටවල්වලින් පැහැදිලි ලෙස වෙනස් වීමට එක් හේතුවක් තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අනිකුත් සියලුම සාමාජික රටවල් දූපත් වුවත් ගයනාව දුපතක් නෙවෙයි.

ක්ලයිව් ලොයිඩ් උපන්නේ 1944 අගෝස්තු 31 වනදායි. ඔහුගේ පියා ක්‍රිකට් ලෝලියකු නොවූවද මව ක්‍රිකට් ලෝලියකු වුණා. එමෙන්ම ඇයගේ සහෝදරිය වූයේ බටහිර ඉන්දීය කොදෙව් පිළ නියෝජනය කළ හොඳම දඟ පන්දු යවන්නා ලෙස සැළකෙන ලාන්ස් ගිබ්ස්ගේ මවයි. ලොයිඩ් ක්‍රිකට් ක්‍රීඩාව දෙසට යොමු වන්නේ මේ පෙළඹවීම් ද සමඟයි.

වයස අවුරුදු 12 දී ගැටුමක් සමථයට පත් කිරීමට උත්සාහ කිරීමේදී ලොයිඩ්ගේ ඇස තුවාල වූ අතර එදා පටන් ඔහු ඔහුගේ ප්‍රකට​, විශාල උපැස් යුවළ භාවිත කිරීමට පටන් ගත්තා.

කොදෙව් පිළට ඇතුළත් වීම​
ලොයිඩ් මුලින් ම ටෙස්ට් තරඟයකට සගභාගී වූයේ 1966 දෙසැම්බරයේදී ඉන්දියාවට එරෙහිව බොම්බාය (වත්මන් මුම්බායි) නගරයේදී. පළමු ඉනිමේදී ඔහු පිටියට පිවිසෙන විට කොදෙව් පිළ කඩුලු තුනකට ලකුණු 82 ක් ලබා සිටියා. මේ අවස්ථාවේ ලොයිඩ් ලකුණු 82 ක් වාර්තා කළේ පැය දෙකකටත් අඩු කාලයක් තුළයි. එම ඉනිමට හතරේ පහර 15 ක් සහ එක් හයේ පහරක් ද අැතුළත් වුණා. දෙවන ඉනිමේදී ද ඔහු ලකුණු 78 ක් නොදැවී ලබා ගත්තේ කොදෙව් පිළ ජයග්‍රහණය කරා ගෙන යමින්.

ලොයිඩ් ටෙස්ට් පිළට එක්වන සමයේ එම පිළට නායකත්වය ලබා දුන්නේ ගාර්ෆීල්ඩ් සෝබර්ස්. එම ප්‍රකට ක්‍රීඩකයාගෙන් ලොයිඩ් ඉගෙන ගත් දේ අතරට නායකත්වයේදී සාර්ථක වීමේ මෙන්ම අසාර්ථක වීමේ ලක්ෂණ ද තිබුණා. උදාහරණයක් වශයෙන්, අනවශ්‍ය අවදානම් ගැනීම නායකයකු ලෙස නොකළ යුතු බව ඔහු වටහා ගත්තේ සෝබර්ස්ගෙන්. විශේෂයෙන් ම එංගලන්තයට එරෙහි ව පැවති එක් ටෙස්ට් තරඟයකදී කොදෙව් දෙවන ඉනිම කඩුලු 2 කට ලකුණු 92 ක් ව තිබියදී අත් හිටවූ සෝබර්ස් එංගලන්තයට ලකුණු 215 ක ඉලක්කයක් ලබා දුන් අතර ඔවුන් එය හඹා ගොස් තරඟය ජයගත්තා.

නායකත්වයේ පාඩම්
ලොයිඩ් කොදෙව් ටෙස්ට් පිළේ නායකත්වයට පත් වූ අවස්ථාවේ ඔහු අවබෝධ කරගත්තේ කොදෙව්වන් බලාපොරොත්තු වන්නේ දිගු කාලීන නායකත්වයක් බවයි. ඔහු සිය පිළ ගොඩ නැංවීම සඳහා හොඳ වැඩපිළිවෙලක් ගොඩ නැගීමට කටයුතු කළා. විවිධ දූපත්වලින් පැමිණි විවිධ ක්‍රීඩකයන් අතර එකමුතුකම ඇති කිරීම ඔහු මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක්. නමුත් මෙහිදී ලොයිඩ් සිය ක්‍රීඩකයන් වෙත දන්වා සිටියේ ඔවුන් එකාවන් ව ක්‍රීඩා කළ යුතු බවත්, තමා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත්.

මීළඟ වසරවලදී ලොයිඩ් සිය ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ පවා අවශ්‍ය අවස්ථාවලදී ගැටුම් ඇති කර ගැනීමට පසුබට වූයේ නැහැ.

ලොයිඩ් නායකත්වය දැරූ පළමු තරඟාවලිය තරඟ 3-2 ක් ලෙස ඉන්දියාවේදී ජය ගැනීමට කොදෙව්වන් සමත් වුණා. අවසන් තීරණාත්මක තරඟයේදී ඔහු සිය වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වූ නොදැවී 242 ක් ලබා ගනිමින් සිය පිළ ජයග්‍රහණය කරා ගෙන ගියා.

1975 පැවති එක්දින ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයේදී ලොයිඩ් තවත් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 102 ක් රැස් කළේ කොදෙව්වන්ට පළමු ලෝක කුසලානය අත් කර දෙමින්.

කෙසේ වෙතත් 1975/76 ඔස්ට්‍රේලියානු සංචාරයේදී ඔහු එක් වැදගත් පාඩමක් ඉගෙන ගත්තා. ඒ වේග පන්දු යවන බල ඇණියේ වැදගත්කමයි. ඩෙනිස් ලිලී සහ ජෙෆ් තොම්ප්සන් එම තරඟාවලිය තම අණසකට ගත් අතර ඔස්ට්‍රේලියාව 5-1 ක් ලෙස තරඟාවලිය ජය ගත්තා. ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ගේ පන්දු හමුවේ කොදෙව් ක්‍රීඩකයන් කිහිප දෙනකු ම තුවාල ලැබුවා.

1976 දී ඉන්දියාව බටහිර ඉන්දීය කොදෙව් හි සංචාරය කළ අවස්ථාවක ඔහු තවත් පාඩමක් ඉගෙන ගත්තා. එහි දී එක් තරඟයකදී ඔහු අවසන් ඉනිම සඳහා ලකුණු 403 ක ඉලක්කයක් ලබා දෙමින් සිය දෙවන ඉනිම අත් හිටෙව්වා. ඉන්දියානුවන් එම ඉලක්කය පසු කර යෑම ලොයිඩ්ට ද අදහාගන්නට නොහැකි වුණා.

ක්‍රීඩාගාරයේදී සිය පන්දු යවන්නන් ඇමතූ ලොයිඩ් ඔවුන්ගෙන් අසා සිටියේ “මම ඔබලාට ලකුණු 400 ක ඉලක්කයක් දුන්නත් ඔබට අනෙක් පිළ දවාගන්න බැරි වුණා. අනෙක් පිළ දවා ගන්නට ඔබට තවත් ලකුණු කීයක් අවශ්‍යද​?” යනුවෙන්.

මෙම සිදුවීම් දෙක ම ලොයිඩ්ට පෙන්වා දුන්නේ වේග පන්දු යවන්නන් සතු ආක්‍රමණකාරී බලයයි. ඔහු එම බලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නත්, එය භාවිතයෙන් තරඟයක් තම අණසකට යටත් කරගන්නත් අදිටන් කරගත්තා.

මෙම ලිපියේ කලින් සඳහන් වූ විපර්යාසයට හේතු වූ සිද්ධි නම් ඔස්ට්‍රේලියානු වේග පන්දු බල ඇණිය විසින් කොදෙව්වන් පරාජය කිරීම සහ ඉන්දියානු පිතිකරුවන් විසින් ලකුණු 403 ඉලක්කය හඹා යාමයි. එයින් පසු සෑමවිටම ලොයිඩ් උත්සාහ කළේ ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවන් සිය වේග පන්දු බල ඇණිය යොදා පරාජය කිරීමටයි.

ලොයිඩ්ගේ බල ඇණිය​
වාසනාවකට මෙන් ලොයිඩ් සතුව ඉතා හොඳ පිතිකරුවන් සහ පන්දු යවන්නන් පිරිසක් සිටියා. ඔහු විසින් කළ යුතු වූයේ එම පිරිස මනාව හැසිරවීම පමණයි. ඒ අර්ථයෙන් ගත් කළ ඔහු වාසනාවන්‍ත නායකයකු ලෙස හඳුන්වන්නට පිළිවන්.

ඔහුගේ ආරම්භක පිතිකරුවන් වූ ගෝර්ඩන් ග්‍රිනිජ් සහ ඩෙස්මන්ඩ් හේන්ස් ක්‍රිකට් කණ්ඩායමකට සිටිය හැකි ඉස්තරම්ම සම්පත් දෙකක් බවට විවාදයක් නැහැ. විවියන් රිචර්ඩ්ස් යනු එකල ලොව සිටි අංක එකේ ආක්‍රමණකාරී පිතිකරු ලෙස හඳුන්වා දිය හැකියි. ලැරී ගෝමස් දවා ගැනීමට අසීරු දක්ෂ පිතිකරුවකු වුණා. මේ අතර නායක ක්ලයිව් ලොයිඩ් ද ඕනෑම ප්‍රතිවාදියකු හමුවේ හොඳින් ලකුණු රැස් කළ හැකි පිතිකරුවකු වුණා. ඔහු එකල පැවති බරැතිම පිත්ත භාවිත කළ පිතිකරුවා වූ අතර ඔහු ද ප්‍රහාරාත්මක වූ විට විව් රිචර්ඩ්ස් මෙන් ම භයානක විය හැකි අයකු වුණා.

ලොයිඩ්ගේ පන්දු යවන බල ඇණියේ අරටුව වුණේ වේග පන්දු යවන්නන්. සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක හොඳ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සිටී නම් එය ඉතා හොඳ තත්ත්වයක්. (මෙයින් අදහස් කරන්නේ මඳ වේග පන්දු යවන්නන් නොවේ. අද බොහෝ කණ්ඩායම්වල වැඩිපුර සිටින්නේ මඳ වේග පන්දු යවන්නන්). එවන් වේග පන්දු යවන්නන් තිදෙනකු සිටී නම් එය භාග්‍යයක්. සිව් දෙනකු සිටී නම් ප්‍රතිවාදී පිළේ පිතිකරුවන් පිළිබඳ අනුකම්පා කරන්න සිදු වෙනවා. විශේෂයෙන් ම බවුන්සර් පන්දු පිළිබඳ අද පවත්නා සීමා නොතිබූ එකල වේග පන්දු යවන්නන් සිව් දෙනකු සිටින පිළක් සමඟ කරට කර තරඟ වැදීම කිසිදු පිතිකරණ බල ඇණියකට පහසු වූයේ නැහැ.

ලොයිඩ්ගේ බල ඇණියේ සිටි වේග පන්දු යවන්නන් එකිනෙකට වෙනස් ලක්ෂණවලින් යුතු වුණා. අඩි හයයි අඟල් අටක් උසැති “බිග් බර්ඩ්” (විශාල පක්ෂියා) ලෙසින් නම් ලැබූ ජොයෙල් ගාර්නර්ගේ උස ප්‍රතිවාදී පිතිකරුවන් බිය වැද්දීමට ප්‍රමාණවත් වුණා. ඔහු ඉතා මැනැවින් සිය උස, පන්දු යැවීමේදී වාසියට හරවා ගත්තා. මයිකල් හෝල්ඩිං හඳුන්වා දුන්නේ “නිහඬ මරණය​” යන අන්වර්ථ නාමයෙන්. ඇන්ඩි රොබර්ට්ස් වැඩි කලබලයක් නොපෙන්වා සිය පන්දු යැවීමේ නිරත වූවකු වූ අතර මැල්කම් මාර්ෂල් ස්ථානෝචිත ප්‍රඥාවෙන් අනූන වූ පන්දු යවන්නකු සේ සැළකෙනවා. මීට අමතරව කොලින් ක්‍රොෆ්ට් ද එම පිළට එක් වූ ප්‍රකට වේග පන්දු යවන්නකු වුණා. නමුත් 1982 දී දකුණු අප්‍රිකානු තරඟාවලියකට එක් වීම හේතුවෙන් ඔහුට තරඟ තහනමක් පැනවුණා. මේ අතර වේන් ඩැනියෙල්, වින්ස්ටන් ඩේවිස්, එල්ඩින් බැප්ටිස්ට් වැනි වේග පන්දු යවන්නන් ද විටින් විට කොදෙව් පිළ නියෝජනය කළා

ලොයිඩ්ගේ කොදෙව් කණ්ඩායමට චෝදනා එල්ල වූයේ නැතිව ම නොවේ. ඇතැම්විට ඔවුන් පන්දු යැවූ විලාශය ක්‍රීඩාශීලීත්වයට සහ ක්‍රීඩාවේ මහත්මා ගුණයට එකඟ නොවූ බවට චෝදනා එල්ල වුණා. එමෙන්ම ඇතැම් අවස්ථාවල විනිසුරුවරුන් ද පීඩනයට පත් කිරීම කොදෙව් පිළ විසින් සිදු කරනු දක්නට ලැබුණා. මේ අතර වේග පන්දු යවන්නන් වැඩි වශයෙන් යොදා ගැනීම නිසා ඕවර වේගය අඩු වීම පිළිබඳව ද ඔවුනට චෝදනා එල්ල කෙරුණා.

කූටප්‍රාප්තිය​
ක්ලයිව් ලොයිඩ් කාලයත් සමඟ අලුත් පාඩම් ඉගෙන ගනිමින් දියුණු වූ නායකයෙක්. ඔහුගේ නායකත්වයේ අවසන් වසර කිහිපය පිතිකරණය අතින් මෙන්ම නායකත්වය අතින් ද ඉතා හොඳ වසර කිහිපයක් වුණා. 1979 දී ලෝක කුසලානය යළි ජයගත් කොදෙව්වන් මේ සමය තුළ එංගලන්තය එංගලන්තයේදීම පරාජය කිරීමටත් සමත් වුණා. ඔස්ට්‍රේලියාව සමඟ එරටේදී පැවති ටෙස්ට් තරඟාවලියක් ජය පරාජයෙන් තොරව නිම වුණා. මේ අතර එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් දෙකම බටහිර ඉන්දීය කොදෙව් හි කළ සංචාරයන් හිදී පරාජයට පත් වුණා.

1983 ලෝක කුසලානයේදී අවසන් මහා තරඟයේදී ලොයිඩ් බල ඇණිය බලාපොරොත්තු නොවූ පරාජයකට මුහුණ දුන්නේ ඉන්දියාව ලබාගත් ලකුණු 183 හඹා යාමට නොහැකි වීමෙන්. නමුත් එම වසර අවසන් භාගයේ ඉන්දියාවේ සංචාරයක් ඇරඹූ කොදෙව්වෝ තරඟ 6 කින් යුත් ටෙස්ට් තරඟාවලියක් 3-0 ක් ලෙස ද තරඟ පහකින් යුත් එක් දින තරඟාවලිය 5-0 ක් ලෙස ද ජය ගත්තා.

1981 සිට සිය අන්තර්ජාතික ක්‍රිකට් දිවිය නිම වන තුරු ටෙස්ට් තරඟ 32 කට සහභාගී වූ ඔහුගේ පිතිකරණ සාමාන්‍යය වූයේ ලකුණු 61.63 ක්. මේ අනුව වයසින් මුහුකුරා යත් ම ඔහු වඩ වඩා දියුණු තත්ත්වයට පත් වුණා. කොදෙව් පිළ අපහසු තත්ත්වයකට වැටුණ අවස්ථාවල වුවද ලොයිඩ් සිය පිළ ගලවා ගනු ඇතැයි යන බලාපොරොත්තුව නොනැසී තිබුණා.

1983 දී කල්කටාවේ පැවති ටෙස්ට් තරඟය මීට කදිම උදාහරණයක්. මෙහිදී ලකුණු 213 කට කඩුලු 8 ක් වැටී තිබුණු කොදෙව් පිළේ ගැලවුම්කාරයා වූයේ ලොයිඩ්. ඔහු ලකුණු 161 ක් ලබාගත් අතර 9 වන කඩුල්ල වෙනුවෙන් ඇන්ඩි රොබර්ට්ස් සමඟ ලකුණු 161 ක සබඳතාවක් ගොඩ නැගුවා.

1984 දී එංගලන්තයේ පැවති තරඟ පහකින් යුතු වූ තරඟාවලියක් 5-0 ක් ලෙස ද, ඔස්ට්‍රේලියාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව්වලදී පැවති තරඟාවලියක් 3-0 ක් ලෙස ද ජයගත් කොදෙව් පිළ ලෝක ටෙස්ට් පිටියේ අනභිභවනීය කණ්ඩායම තමන් බව පෙන්නුම් කළා.

ලොයිඩ් 1985 මුල දී ඔස්ට්‍රේලියා සංචාරය අවසානයේ ක්‍රීඩාවෙන් සමු ගත්තා. එම තරඟාවලිය ද ඔවුන් ජයගත් නමුත් තරඟාවලියේ අවසන් තරඟය​, එනම් ලොයිඩ්ගේ අවසන් ටෙස්ට් තරඟය, ජයගත්තේ ඔස්ට්‍රේලියාවයි. ලොයිඩ් ක්‍රීඩා පිටියට සමුදෙන අවස්ථාව වනවිට ඔහුගේ සමකාලීනයන් සමහරෙක් සිය ක්‍රීඩා දිවියේ අවසාන කාලයට එළඹෙමින් සිටියා. තවත් අය ඒ වනවිටත් විශ්‍රාම ගොස් සිටියා.

එයින් පසු බටහිර ඉන්දීය කොදෙව් පිළ ක්‍රිකට් ක්ෂේත්‍රයේ කෙමෙන් කෙමෙන් පල්ලම් බසිමින් සිටිනු දකින්නට පිළිවන් වුණා. වසර දහයකට පෙර ක්‍රිකට් ලොව රජුන් වූ ඔවුන් 1996 ලෝක කුසලාන තරඟාවලියේදී කෙන්යානුවන් හමුවේ ලකුණු 93 කට දැවී යාම, ලොයිඩ් බල ඇණියේ විසිර යාමෙන් කෙටි කලක් තුළ එම පිළට අත් වූ ඉරණම පිළිබඳ හොඳ සාක්ෂියක් වූ බවට විවාදයක් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *