කෙල බිදුවකින් කෙස් ගසකින් සිගරට් කොටයකින් පවා හොයාගන්න පුළුවන් DNA පරීක්ෂණය ගැන සියලුම දේ මෙන්න කරන්න කලින් දැනගන්න

සුනාමියට පසු කොයි කාගේත් කතා බහට ලක්වූ ප‍්‍රධානම මාතෘකාව වූයේ “බේබි 81”ගේ මවුපියන් කවුරුන්ද යන්නයි. එයට කදිම විසඳුමක් ලබා දුන්නේ ඩී.එන්.ඒ. පරීක්ෂණයයි. පරීක්ෂණයෙන් සතියක් යාමටත් පෙරාතුව සිඟිත්තාට මවගේ තුරුළෙහි උණුසුම් වීමට වරම් ලැබුණි.“බේබි 81” හෙවත් අභිලාෂ්ට පමණක් නොව ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් බොහෝ දෙනකුට තමන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ඉඩ ලැබෙනවා.

ආරේ ගුණ නෑරේ යැයි කියමනක් ජනවහරේ පවතිනවා. මවුපියන්ගෙන් දූදරුවන්ට දේපළ ඉඩකඩම් උරුම වනවාක් මෙන්ම ජානද හිමිවෙනවා. ‘ජාන’ ලෙස හඳුන්වන්නේ ඩී.එන්.ඒ. අණුවක කොටසකි. එනම් ජාන එක්වීමෙන් ඩී.එන්.ඒ. අණුවක් සෑදෙයි.

ඩී.එන්.ඒ. පරීක්ෂණය යනු කුමක්ද? ඩී.එන්.ඒ (ඩියොක්සිරයිබො නියුක්ලික් ඇසිඩ්) පරීක්ෂාව ඩී.එන්.ඒ. ඇඟිලි සලකුණු පරීක්ෂාව (D.N.A Fingerprinting) ලෙසද හඳුන්වනවා.ඇඟිලි සලකුණු මෙන්ම ඩී.එන්.ඒ. දාමවල පිහිටන සමහර රටාද පුද්ගලයකුගෙන් පුද්ගලයකුට වෙනස්ය.මේ සුවිශේෂ රටා වෙන්කර හඳුනාගෙන ඡායාරූපයකට නැගීමෙන් පසු වෙනත් එවැනිම අයුරකින් ලබාගත් ඡායාරූපයක් හා සන්සන්දනය කර බැලීමට පුළුවන.

එසේ සැසඳීමෙන් මාපියන් සහ දරුවා අතර ජානමය සම්බන්ධයක් තිබේද යන්, කිසියම් අපරාධයක් කර ඇත්තේ සැකකාර පුද්ගලයාද යන්න වැනි මතභේදයට තුඩු දෙන ගැටලු විසඳා ගත හැකිය.1984දී බි‍්‍රතාන්‍ය ජාන විද්‍යාඥයකු වන ඇලෙක් ජෙෆ්රීස් විසින් හඳුන්වා දෙන ලද මේ ඩී.එන්.ඒ. රටා හඳුනා ගන්නේ මෙලෙසිනි.පළමුව ඩී.එන්.ඒ. අඩංගු සෛල සාම්පලයක් අදාළ පුද්ගලයා හෝ පුද්ගලයන්ගේ සම,රුධිරය, කෙස් වැනි කොටසකින් ලබා ගැනෙයි. මෙයින් සූක්ෂම ලෙස ඉවත් කර ගැනෙන ඩී.එන්.ඒ. දාම පිරිසුදු කර ගත් පසු විශේෂිත තැන්වලින් කැබැලිවලට කපනු ලැබේ.

විශේෂිත එන්සයිමයක් යොදාගෙන කෙරෙන මේ කැබැලිවලට කැපීමේදී එකිනෙකින් වෙස් දිගින් යුතු ඩී.එන්.ඒ. කැබැලි ලැබේ.මෙම කැබැලි ජෙලි තට්ටුවක් සහිත බඳුනක බහා බඳුනට විදුලි ධාරාවක් සැපයූ විට දිගින් අඩු ඩී.එන්.ඒ.කැබැලි බඩාත් ඉක්මනින් බඳුනේ එක් අග‍්‍රයක් දෙසට (ධන විදුලිය සපයා ඇති අග‍්‍රය දෙසට) ගමන් කරයි.ඉන්පසු විශේෂ තාක්ෂණයක් යොදාගෙන ඩී.එන්.ඒ. දාමය (ඩී.එන්.ඒ. ඟමයක් යනු දාම දෙකකින් තැනුම් ලත් ද්විත්ව දාමයකි). තනිදාම වෙන්කර ගනු ලැබෙයි.

මෙසේ ලබාගත් තනිදාම කැබැලි දිගෙහි වෙනස්කම් සහිත අනු පිළිවෙළටම ජෙල් තට්ටුවේ සිට නයිලෝන් තට්ටුවකට ගනු ලැබේ.ඉන් පසු මේවා කෘති‍්‍රමව තැනු ඩී.එන්.ඒ. කැබැලි සමූහයක් හා ගැටීමට සලස්වනු ලබන අතර එහිදී කෘති‍්‍රම හා ස්වභාවික ඩී.එන්.ඒ. කැබැලි එකිනෙක බැඳෙන්නේ ස්වභාවික දාම කැබැලිවල මිනිසැටලයිට්ස් නම් සුවිශේෂ රටා පිහිටන තැන්වලිනි.ඉන් අනතුරුව මෙම දාම එක්ස්කිරණ පටලයකට නිරාවරණය කෙරෙන අතර එහිදී මිනිසැටලයිට්ස් කොටස් සහිත තැන් පමණක් එක්ස් කිරණ කඩදාසියේ අඳුරු පැහැයෙන් සටහන් වෙයි.

සන්සන්දනය සඳහා පාව්චිච් කරනු ලබන්නේ මෙසේ ලබාගත් එක්ස් කිරණ ඡායාරූපයයි. පරීක්ෂණය සඳහා පුද්ගලයකුගෙන් ලබාගත් ඩී.එන්.ඒ. ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නැත්නම් ඒවා කෘතිමව පිටපත් කර සංඛ්‍යාවෙන් වැඩිකර ගැනීමේ පහසුකම්ද විද්‍යාගාර සතුව ඇත.

ඩී.එන්.ඒ. මගින් නෑකම් සොයන්නේ කෙසේද?දරුවකුට මවගේත්, පියාගේත් ජාන ඇත. එනම් මවගෙන් පියාගෙන් ලැබෙන ජාන සංයුතියේ එකම උරුමක්කාරයා හෝ උරුමක්කාරයන් වන්නේ දූදරුවන්ය. එකම පවුලේ දූ දරුවන් අතර පවා මවුපියන්ගේ ඩී.එන්.ඒ.

අණු බෙදී යන්නේ වෙනස් ආකාරයෙනි. එහෙත් ඔවුන්ගේ ඩී.එන්.ඒ. පිරික්සීමෙන් මවුපියන් එකම අය බව ඔප්පු කළ හැකිය. සර්වසම නිවුන්නුන්ගේ ජාන පමණක් එක හා සමානය.මවුපියන් නැත්නම් මවුපියන්ගේ, මවුපියන්ගේ එනම් මිත්තණියගේ හා මුත්තණුවන්ගේ ජාන පිරික්සා නෑකම කීමට ද පුළුවන.පියා නැත්නම් පියාගේ මවුපියන්ගේ හෝ ලේ ඥාතීන්ගේද ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදු කර අනන්‍යතාවය හෙළි කළ හැකියි.

පරීක්ෂණය සිදු කරන්නේ කෙසේද?“බේබි 81”ගේ සැබෑ මවුපියන් සෙවීමට යොදා ගන්නා ලද්දේ රුධිර පරීක්ෂණයයි. දරුවාගේත්, මවුපියන්ගේත් රුධිරය වෙන වෙනම ගෙන ඩී.එන්.ඒ. පරීක්ෂාවට ලක් කර ඇත. පරීක්ෂණයට රුධිරය ලබා ගන්නේ වෙනත් ඕනෑම පරීක්ෂණයකට රුධිරය ලබා ගන්නා සරල ආකාරයෙනි.රුධිරයට අමතරව වෙනත් ශරීර කොටස්වලින්ද පරීක්ෂණය සිදු කළ හැකියි.මුඛයේ (කම්මුලේ) ශ්ලේෂ්මල පටලයෙන් ස්වල්පයක් ගෙනද ඩී.එන්.ඒ. පරීක්ෂාව සිදුකළ හැකියි.එපමණක් නොව හිසකෙස්, කෙළ, ශුක‍්‍ර තරලය, වැනි ශරීර කොටසක මවුපිය උරුමය සැඟව තිබේ.

ජීවී කෙනකුගේ ශරීර කොටස්වලින් පමණක් නොව මිය ගිය කෙනකුගේ ශරීර කොටස්වලින්ද අනන්‍යතාව තහවුරු කර ගත හැකියි. සුනාමියෙන් මිය ගිය විජාතිකයන්ගේ ශරීර කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂණයට ලක්කර ඥාතීන්ට බාර දීම මීට හොඳම නිදසුනකි.

අපරාධයක් සිදුවූ තැනක ඇති ලේ පැල්ලමකින්, කෙස්ගසකින්, ශරීර කොටසකින්ද ඩී.එන්.ඒ. අණු වෙන් කර ගත හැකිය.ඩී.එන්.ඒ. අණුව, කෙනකුගේ අනාගතය, වැළඳිය හැකි ලෙසඩ රෝග, දක්ෂතා දක්වන වෘත්තීන්, විවාහ දිවිය ගත කරන කාල සීමාව, මිය යා හැකියයි අනුමාන කරන කාලය, මිය යන්නේ කෙසේද යන්න පවසන පේන කරුවකුද වෙන බව බටහිර වෛද්‍ය විද්‍යාව ඔප්පු කර ඇත.

බටහිර රටවල මෙම පරීක්ෂාව පහසුවෙන් කළ හැකි නමුත් අපේ රටේ මෙවැනි පරීක්ෂණයක් සිදු කෙරෙන්නේ උසාවි නියෝගයක් ලැබුණොත් පමණි. පරීක්ෂණය සඳහා අධික මුදලක්ද වැය කිරීමට සිදුවේ.පරීක්ෂණ ප‍්‍රතිඵල ලැබීමට ගතවන කාලය, පරීක්ෂණයෙහි ස්වභාවය අනුව වෙනස් වෙයි. සාමාන්‍යයෙන් දින දෙකක්, තුනක් වැනි කෙටි කාලයකින් ප‍්‍රතිඵල ලබාගත හැකි අවස්ථා ද තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *